පීඨාධිපතිතුමියගේ පණිවිඩය

English | தமிழ்

රුහුණ විශ්වවිද්‍යාලයේ සම සෞඛ්‍ය විද්‍යා පීඨයේ, නිල වෙබ් අඩවිය වෙත ඔබව පිළිගනු ලබන්නේ ඉතාමත් ගෞරවයෙන් සහ ඉතා ඉහළ වගකීම් සහගත හැඟීමකින් යුතුවය.

වර්ෂ දෙදහස් දහ හතේ සැප්තැම්බර් මාසයේදී විධිමත් ලෙස ස්ථාපිත කරන ලද දිනයේ සිට, සම සෞඛ්‍ය විද්‍යා පීඨය ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අධ්‍යාපනයේ මූලස්ථානයක් ලෙස වේගයෙන් විකාශනය වී ඇත. අපගේ ඉතිහාසය  දෙදහස්  අට වසරේදී වෛද්‍ය පීඨය තුළ ආරම්භ කරන ලද සම සෞඛ්‍ය විද්‍යා උපාධි වැඩසටහන දක්වා දිවයයි. වෛද්‍ය රසායනාගාර විද්‍යා සහ හෙද විද්‍යා උපාධි පාඨමාලා හඳුන්වා දුන් එම ආරම්භක වසරවලින් පසුව, වර්ෂ දෙදහස් දහයේදී ඖෂධවේද උපාධිය ද හඳුන්වා දෙන ලදී. එතැන් පටන් අපගේ පීඨය වර්ධනය වූයේ තීරණාත්මක ජාතික අවශ්‍යතාවයකට ප්‍රතිචාර දක්වමිනි. එනම්, නවීන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඇති සංකීර්ණතාවලට මුහුණ දිය හැකි, ඉහළ කුසලතාවලින් යුත් සහ තාක්ෂණික වශයෙන් දක්ෂ සෞඛ්‍ය වෘත්තිකයන් බිහි කිරීමයි.

මෙම කීර්තිමත් පීඨයේ තෙවන පීඨාධිපතිවරයා ලෙස මගේ දැක්ම, රටේ ප්‍රමුඛතම සම සෞඛ්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය බවට පත්වීමේ අපගේ ආයතනික අරමුණ සමඟ සමපාත වේ. මෙම ගමනේ වැදගත් සන්ධිස්ථානයක් වන්නේ ගාල්ල, වලාහන්දූව ප්‍රදේශයේ පිහිටි අතිනවීන නව ගොඩනැගිලි සංකීර්ණය වෙත අප පීඨය සංක්‍රමණය වීමයි. අක්කර දොළහක භූමි බාගයක මේ වෙනුවෙන්ම ඉදිකරන ලද මෙම පීඨ සංකීරණය අප පීඨයට නව යුගයක් සනිටුහන් කරන අතර, උසස් සායනික පුහුණුව, පර්යේෂණ සහ ශිෂ්‍ය සුබසාධනය සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සපයයි.

අපගේ ශාස්ත්‍රීය විශිෂ්ටත්වය පිළිබඳ කැපවීමට, අප තුළ වර්ධනය වෙමින් පවතින පර්යේෂණ සංස්කෘතිය තවදුරටත් සාක්ෂි දරයි. අපගේ වාර්ෂික ජාත්‍යන්තර පර්යේෂණ සම්මන්ත්‍රණය (iRUFARS) හරහා, නවෝත්පාදනයන් මගින් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අභියෝගවලට විසඳුම් සෙවීම සඳහා පර්යේෂකයන්ට අපි ගෝලීය වේදිකාවක් සපයන්නෙමු. එමෙන්ම, nEUROcare, CAPAGE සහ MARIE වැනි ජාත්‍යන්තර ව්‍යාපෘති මෙන්ම පිළිගත් දේශීය හා ජාත්‍යන්තර ආයතන රැසක් සමඟ පවතින සහයෝගීතාවන් සහ හවුල්කාරිත්වයන් හරහා අපගේ ගෝලීය සබඳතා පුළුල් කර ගැනීමට ලැබීම පිළිබඳව අපි ආඩම්බර වෙමු. මෙම ප්‍රයත්න  අපගේ පර්යේෂණ ප්‍රතිදානයන් ඉහළ නංවන අතර කාර්ය මණ්ඩලයේ සහ සිසුන්ගේ විදේශීය අධ්‍යයන සබඳතා සහ හුවමාරු වැඩසටහන් පහසු කරයි. සම සෞඛ්‍ය විද්‍යා පීඨය තුළ, අපි සෛද්ධාන්තික දැනුම සහ ප්‍රායෝගික විශිෂ්ටත්වය අතර පරතරය පියවන්නෙමු. අවංක භාවය, ප්‍රතිපත්තිගරුක බව, නවෝත්පාදනය සහ මහජන සෞඛ්‍යය වෙනුවෙන් කැපවීම පදනම් කරගත් ශාස්ත්‍රීය සංස්කෘතියක් පෝෂණය කිරීමට අප සැමවිටම බැඳී සිටිමු. ඔබ ශිෂ්‍යයෙකු, පර්යේෂකයෙකු හෝ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ හවුල්කරුවෙකු ලෙස, සම සෞඛ්‍ය අධ්‍යාපනයේ සහ ප්‍රායෝගික පුහුණුවේ ප්‍රමිතීන් ඉහළ නැංවීමට අප ගන්නා අඛණ්ඩ උත්සාහයට සහ අපගේ ප්‍රජාව සමඟ එක්වන ලෙස මම ඔබට ආරාධනා කරමි.

අපි සැවොම එක්ව සෞඛ්‍ය සේවයේ විශිෂ්ටත්වය සහ ශාස්ත්‍රීය දියුණුව උදෙසා වෙහෙස මහන්සි වී වැඩ කරමු.

මහාචාර්ය ඩබ්ලිව්.වී.ආර්.ටී.ඩී.ජී. බණ්ඩාර

පීඨාධිපතිතුමිය,

 සම සෞඛ්‍ය විද්‍යා පීඨය

රුහුණ විශ්වවිද්‍යාලය